Verification Through Introduction - sachinitharanga

හායි යාළුවනේ. අද ඉදන් මන් ආටිකල් ලියන්න පටන් ගන්න හිතුවා. මුලින්ම මන් මගෙ ගැන ඔයාලට කියලා ඉන්නම්කෝ. මගෙ නම සචිනි තරංගා. මට දැන් වයස අවුරුදු 26 ක් වෙනවා. මගෙ ගෙවල් තියෙන්නේ නුවර. නුවර කිව්වට ඉතින් නුවර ටවුන් එකේම නම් නෙවේ, නුවර ටවුන් එකේ ඉදලා ටිකක් දුරයි, නුවර කොනේ කිව්වොත්නම් හරියටම හරි. මොකද නුවරයි මාතලේයි මට එකම දුර.
මන් ගැන කිව්වොත් මම කැලණිය කැම්පස් එකේ, Film & Television Degree එක ඉවර කරලා ගෙදරට වෙලා ඉන්නේ. ඉවරයි කිව්වට ඉවරම නෑ ඉතිම් තාම, Thesis එකේ Viva එක කරන්න තියෙනවා ලගදිම. ඉගෙන ගත්ත ඉස්කෝල ගැන කියනවානම් මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ අපෙ ගමේ ඉස්කෝලෙන්, අපෙ ගෙදර ඉදන් ඉස්කෝලෙට පයින් යන දුර, ඉස්කෝලේ ගෙදරට ගොඩක් ලග තියෙන්න්නේ. ඊට පස්සේ උසස් පෙළ කරන්න ටවුන් එකේ ඉස්කෝලෙකට ගියා. ඊට පස්සේ තමා ඉතිම් කැම්පස් ආවෙ. කැම්පස් ජීවිතෙත් දැන් ඉවරයි. හරි සුන්දරයි ඉතිම් ඒ කාලෙත්. ආයෙ කැම්පස් එකට යන්න වෙන්නේ Viva එක දවසට විතරයි, ඒත් යාළුවෝ හැමෝවම එදාට හම්බ වෙන්න බැරිවෙනවා මොකද ළමයි පිරිස වැඩි නිසා දවසකට 20 ගානෙ කොටස් බෙදලා තමා Viva තියෙන්නේ. පළවෙනි දවසෙම මට Viva තියෙනවා මොකද මගෙ Student Number එක 20 ට අඩු එකක්.

source
ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්නකොට තමයි හිතුනෙ මොනවා හරි ලිව්වනම් හොදයි කියලා. කැම්පස් යන කාලෙනම් සිකුරාදා වෙනකල් බලන් ඉන්නෙ ඒ දවස් දෙකේ නිවාඩුවටත් ගෙදර දුවගෙන එන්න. ඒත් දැන්නම් මාසෙකටත් වඩා ගෙදරටම වෙලා ඉදලා කම්මැලියි ටිකක්, කොහෙවත් ඇවිදින්න යන්නත් බැරි වුණා. ඒ මාසෙම මන් කලේ ෆිල්ම් බලන එක, කොරියන් ඩ්‍රාමා බලන එක, පොත් කියවන එක, එක එක කෑම හදන එක ඒ ටික තමා. දැන්නම් ජොබ් එකක් හොයාගන්නත් ඕනි ගෙදරට වෙලා කම්මැලිකමේ හිටියා ඇති හොදටම. ම්ම්ම් ආයෙ මන් ගැන කියනවානම් මන් Graphic Design, Creative writing වලට ආසයි. මන් නිකන් ඉන්න වෙලාවට එක එක ඩිසයින් කරනවා, කවි නිසදැස් එහෙමත් ලියනවා. මන් හොයන්නෙත් ඒ වගේ Creative සයිඩ් එකේ ජොබ් එකක්.

source
අපෙ ගෙදර ගැන කියනවානම් මගෙ පවුලෙ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි, මායි. ඔක්කොම 05 යි.
මන් ගෙදර හිටිය මාසෙම ෆිල්ම් ගොඩක් බැලුවනේ. ඒ නිසා මන් හිතුවා මුලින්ම ලියන ආටිකල් ටිකේ මන් මේ දවස්වල බැලුව ෆිල්ම් කීපයක් ගැන ලියන්න. එතකොට ඒ අතරෙ ඔයාලට ආස හිතෙන ෆිල්ම් එකක් තිබුනොත් ඔයාලාටත් බලන්න පුළුවන්නේ. වැස්ස දවස්වල රස්නෙට තේ එකක් බොන ගමන් ලස්සන පොතක් කියවන එක, එහෙම නැත්තන් ෆිල්ම් එකක් බලන එක මන් ඉස්සර ඉදන්ම ගොඩක් ආසා කරන දෙයක්. ඔයාලාත් එහෙම ආසා ඇති කියලා මට හිතෙනවා. මේ දවස්ටිකේ නම් අපෙ පැත්තට හොදටම වහිනවා. ඒ නිසා මන් කරන්නේම ඇදට වෙලා පොතක් කියවන එක හරි ෆිල්ම් එකක් බලන එක හරි. වැස්ස දවස් වල වත්ත දිහාටවත් යන්න බෑ වැස්ස කාලෙට අපේ පැත්තේ කූඩැල්ලෝ ගොඩක් ඉන්නවා. ඒ නිසා ගෙදරටම වෙලා ඉන්නවා ඉතිම්. තනියම ගෙදරට වෙලා ඉන්න එකනම් මට හරිම කම්මැලි දෙයක්. සතියෙ දවස් වල ගොඩක් වෙලාවට මට තනියම තමා ගෙදර ඉන්න වෙන්නෙ, චූටි මල්ලිත් ඉස්කෝලේ ගිහින් එද්දි ටිකක් හවස් වෙනවා. ගෙදර කවුරුහරිම ඉන්නකොටනම් පාළු නෑ ඉතිම් මොනවා හරි දෙයක් ගැන කතා කර කර ඉන්න පුළුවන්නේ. මන් මේ ලියාගෙන යන එකේනම් කිසිම පිළිවෙලක් නෑ. හිතට එන දේවල් ඔහේ ලියාගෙන යනවා. මේක ලියන වෙලාවෙත් හොදටම වහිනවා. අපෙ ගෙදර තියෙන්නේ කුඹුරු යායක් ලග ඒ නිසා වැස්ස කාලෙට හොදටම සීතල වැඩියි. මට හිතෙනවා අනේ මේ ආටිකල් එකෙන් මගේ ගැන ලියනවාට වඩා මන් ලියලා තියෙන්නේ ගෙදර ගැනද කියලා. කමක් නෑ අනේ මගේ ගැන කියන්න තරම් විශේෂ දේකුත් නෑ ඉතිම් 😊😋.
එහෙනම් ඉතිම් අපි අලුත් ආටිකල් එකකින් හෙට හම්බවෙමු.